Saturday, December 1, 2018

රම්බොඩ ඇල්ල



රම්බොඩ ඇල්ල

Picture by Rajitha Herath
Location - Ramboda Ella
Date - 20 November 2018

මේකෙ නම කිව්ව ගමන් බොහෝ අය දන්නවා. ඇත්තටම රම්බොඩ කියන ගමේ නම ප්‍රසිද්ධ වුණෙත් මේ ඇල්ල නිසා. ඉස්සර මේකට පූනා ඇල්ල කියලත් කිව්වාලු. රම්බොඩ මේ ඇල්ල ඇරැනම තියෙන අනිත් වැදගත්ම දේ තමයි රම්බොඩ උමඟ. මහනුවර ඉඳලා නුවරඑළියට යන ප්‍රධාන මාර්ගයේ අතරමග රම්බොඩ උමඟ පහුවෙනවාත් එක්කම තමයි රම්බොඬ ඇල්ල තියෙන්නේ. ඇල්ලේ උඩ රම්බොඩ ඇල්ල හා පහළ රම්බොඩ ඇල්ල කියලා කොටස් දෙකක් තියෙනවා. නුවරඑළිය පාරේ ඉඳන් බලද්දී ඔයාලා දකින්නේ දිය ඇල්ලේ මැද සහ යට කොටස විතරයි. මේ දෙකටම වැඩිය ලස්සන උඩ කොටස බලන්න නම් දිය ඇල්ල ළගින් උඩට නගින්න තියන අඩි පාරේ මීටර් 750ක් වගේ යන්න ඕනි. දෙකම බලන්න ප්‍රධාන මාර්ගයේ ඉඳලා පොඩි දුරක් උඩට හා පහළට යන්න ඕනෑ. උඩට යන්න තියෙන පාර පඩිපෙළවල් දාලා හදලා තියෙන්නේ. හැබැයි දැන් නම් පොඩ්ඩක් වල්වැදිලා. ඒ වුණාට ඒකත් ලස්සනයි. මේ සමහර ෆොටෝ තියෙන්නේ ඒ යන පාරේ.

උඩරම්බොඩ ඇල්ල බලන්න පඩිපෙළ දිගේ ඉහළටම නැග්ගාට පස්සේ නැරඹුම් අට්ටාලයක් හදලා තියෙනවා. නැරඹුම් අට්ටාලයට ගිහිල්ලා බලන්නත් පුළුවන්. ඒ වගේම අට්ටාලයට යටින් ඇල්ල පාමුලට ගිහිල්ලා ඇල්ල බලන්නත් පුළුවන්. ඇල්ල පාමුලට ගියාට පස්සේ නම් වටේට දියඇළි විමානයක් වගේ දැනේවි. රම්බොඩ ඇල්ලට අමතරව වටේට තව කුඩා දියඇළි රුසක් කඩාගෙන වැටෙනවා. ලංකාවේ උසින් 11 වැනි ස්ථානය හිමිකර ගන්නා රම්බොඩ ඇල්ල ලෝකයේ දිය ඇලි අතුරින් 729 වැනි ස්ථානය හිමි කරගන්නවා.

රම්බොඩ ඇල්ලේ පහළ කොටස බලන්න නම් රම්බොඩ ෆෝල්ස් හෝටලය මැදින් පහළට යන්න ඕන. බයනැතිව යන්න. ඒක විතරයි මේක බලන්න යන්න තියෙන පාර. හෝටල් කළමනාකාරීත්වයෙන් ලොකු ගැටලුවක් නෑ. මේ කිව්ව හෝටලයට යන පාර අසලින්ම දිවෙන්නේ රම්බොඩ උමග හදන්න කලින් නුවර - නුවරඑළිය ප්‍රධාන මාර්ගය ඉස්සර දැවැන්ත ගල් පර්වතයක පහළ කොටස කපලා තමයි උස වාහන වලට යන්න පාර හදලා තියෙන්නේ. ඒ මාර්ගයත්, අර කිව්ව කැපූ ගල් පර්වතයත් තවම තියෙනවා

උපුටා ගැනීමකි

පිදුරුතලාගල කන්ද


පිදුරුතලාගල කන්ද

Picture by Rajitha Herath
Location - Pidurutalagala
Date - 18 November 2018

පිදුරුතලාගල කන්ද ශ්‍රී ලංකාවේ උසම කඳු මුදුන වෙයි. උස මීටර් 2524 (අඩි 8281)කි. මධ්‍යම කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.
ශ්‍රී ලංකාවේ උසම කඳු මුදුනට අමතරව මෙහි ඇති විශේෂත්වය නම් ලංකාව බෙදා වෙන්කරන සිතියම් 92 න් සිතියම් හතරක් යාවන ස්ථානයක් ලෙසද මෙකී ස්ථානය වැදගත් වේ .ඒවා ,
  • බදුල්ල සිතියම
  • නුවරඑළිය සිතියම
  • ගම්පොල සිතියම
  • හඟුරන්කෙත සිතියම
එසේම ග්‍රිනිච් රේඛා 0“ . 0“ ස්ථනයද මේම කඳු මුදුනයි.
යුධ ,ගුවන් ,නාවික හමුදා කඳවුරු පිහිටා ඇති අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන සම්ප්‍රේෂණ මධ්‍යස්ථානද පිහිටා ඇත.
මෙහි නැරබීම සඳහා ඇතුල් වීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර යුධ හමුදාව මගින් පාලනය වේ.
මෙම කදු වලල්ල දිවියන් බහුල ප්‍රදේශයකි.

උපුටා ගැනීමකි 

පළාත් පහක් එක විට පෙනෙන ලිප්ටන් සීට්



පළාත් පහක් එක විට පෙනෙන ලිප්ටන් සීට්

Picture by Rajitha Herath
Location - Lipton's Seat
Date - 19 November 2018

තෝමස් ජේ. ලිප්ටන් මහතා මහා බ්‍රිතාන්‍යයට අයත් ස්කොට්ලන්තයේ උපන් අයෙකි. ඔහු ක්‍රි. ව. 1800 දී පමණ ශ්‍රී ලංකාවට සංචාරකයකු ලෙසින් පැමිණ ශ්‍රී ලංකාවේ සුන්දරත්වයෙන් වශී වී එවකට ශ්‍රී ලංකා ආණ්ඩුකාරවර ශ්‍රීමත් ෆෙඩ්රික් නෝත් මහතාගේ ආශීර්වාදයෙන් ශ්‍රී ලංකාවේ පදිංචි වී ඇත.
ඉතා කඩවසම් ජවසම්පන්න තරුණයකු වූ තෝමස් ජේ. ලිප්ටන් මහතා තේ වගාව පිළිබඳ විවිධ පර්යේෂණවල නිරත වී ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වත්ත ලෙසින් ඉතිහාසගත වී ඇති හපුතලේ දඹේතැන්න තේ වත්ත ආරම්භ කර ශ්‍රී ලංකාවේ තේ ලොව අන් රටවල ප්‍රචලිත කිරීමට සුවිශේෂී මෙහෙයක් සිදුකළ අයකු බව පැවසේ.
හුදකලාව ප්‍රියකළ මොහු තම තේ වතුයා‍යේ ඇති ඉතා උස් ස්ථානයක සිට වාඩි වී මධුවිත තොලගාමින් අවට සිරි නරඹමින් විවේකීව ගතකිරීම පුරුද්දක් ලෙස සිදුකර ඇත. ඔහු එදා අවට සිරි නැරඹූ එම ස්ථානය අද 'ලිප්ටන් සීට්' යනුවෙන් ප්‍රචලිත වී ඇති අතර එම ස්ථානය දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉතා ආකර්ශනීය ස්ථානයක් බවට පත් වී ඇත.
හපුතලේ නගරයේ සිට කි. මී. 12 පමණ දුරින් දඹේතැන්න වතුයායේ නැ‍ඟෙනහිර දෙසට වන්නට පිහිටා ඇති මෙම ස්ථානයට දඹේතැන්න අලංකාර තේ කම්හල පසුකර මඳ දුරක් ගිය විට ළඟාවිය හැකිය.
මෙම ස්ථානයේ ඇති සුවිශේෂීභාවය නම් ශ්‍රී ලංකාවේ පළාත් 9න් පළාත් 5ක් වන එනම් ඌව, දකුණ, සබරගමුව, මධ්‍යම හා නැ‍ඟෙනහිර පළාත් නිරීක්ෂණය කළ හැකි වීමයි.
එදා තෝමස් ජේ. ලිප්ටන් මහතා විවේකී සුවයෙන් වාඩිවී සිටි අයුරින්ම ඔහුගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් එම ස්ථානයේ ඉදිකර ඇත. එමෙන්ම එය සමීපයේ දඹේතැන්න වතුයායේ ඉතිහාසය හා තෝමස් ජේ. ලිප්ටන් මහතා පිළිබඳ සඳහන් පුවරුවක් ඉදිකර ඇත. එමෙන්ම එම ස්ථානයට නුදුරින් අවට සිරි නැරඹීම සඳහා ඉතා අලංකාර පීඨිකාවක් ද ඉදිකර ඇත. දඹේතැන්න වතු පාලනාධිකාරිය විසින් මෙම ස්ථානය නඩත්තු කරමින් පවත්වාගෙන යන බව පෙනී යයි.

සවස් කාලයේදී දැඩි ලෙස මීදුම ගලා එන හෙයින් මධ්‍යහ්න 12ට පෙර ඉතා පහසුවෙන් අවට සිරි නැරඹිය හැකි වේ. විශේෂයෙන් අධික වැසි සහිත දිනවලට මෙම ස්ථානට 'අකුණු' පතිත වන හෙයින් අධික වැසි සහිත දිනවලදී මෙම ස්ථානය නැරඹීමට යාම එතරම් ප්‍රඥාගෝචර නොවේ. පසුගිය කාලයේ එසේ අකුණුසර වැදීමෙන් විදේශිකයින් කීපදෙනකුගේම දිවි අහිමි වී ඇත.

උපුටා ගැනීමකි 

ලංකාවට පමණක් ආවේණික වූ මහරත් මල් ශාකය


ලංකාවට පමණක් ආවේණික වූ මහරත් මල් ශාකය

Picture by Rajitha Herath
Location - Hakgala Botanical Garden
Date - 20 November 2018

උද්භිද විද්‍යාත්මක නාමය - Rhododrendran Arbareum Var Zeylanicum
කුලය - Ericaceae

ලංකාවට පමණක් ආවේණික වූ මහරත් මල් ශාකය වනාන්තර ආශ්‍රිතව දක්නට ලැබේ. දෙමළ භාෂාවෙන් මෙම මල "Billi" යනුවෙන් හඳුන්වනු ලබයි. රත් මල්වලට අයත් මෙම ශාකයේ මල් පොකුරු ආකාරයෙන් හට ගනී. ශාකයේ ස්වභාවය ගත් විට කුඩා සහ මධ්‍ය ප්‍රමාණයෙන් යුක්තය. එක මල් පොකුරක මල් විසිපහක් පමණ හට ගැනේ. පෙබරවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා කාලය තුළ මල් හට ගැනේ. වැඩි වශයෙන් ම මධ්‍යම කඳුකර ප්‍රදේශවල මෙම ශාකය වැඩේ. ඒ හැරුණු විට ඒ ආශ්‍රිත තණ බිම්වල ද මේවා වැඩි වශයෙන් ව්‍යාප්ත වේ. ගෘහස්ථ වගාවට මෙන්ම ඖෂධ වශයෙන් ද මෙම ශාකය භාවිත කරේ.

Source : https://si.wikipedia.org/