Saturday, December 1, 2018

පළාත් පහක් එක විට පෙනෙන ලිප්ටන් සීට්



පළාත් පහක් එක විට පෙනෙන ලිප්ටන් සීට්

Picture by Rajitha Herath
Location - Lipton's Seat
Date - 19 November 2018

තෝමස් ජේ. ලිප්ටන් මහතා මහා බ්‍රිතාන්‍යයට අයත් ස්කොට්ලන්තයේ උපන් අයෙකි. ඔහු ක්‍රි. ව. 1800 දී පමණ ශ්‍රී ලංකාවට සංචාරකයකු ලෙසින් පැමිණ ශ්‍රී ලංකාවේ සුන්දරත්වයෙන් වශී වී එවකට ශ්‍රී ලංකා ආණ්ඩුකාරවර ශ්‍රීමත් ෆෙඩ්රික් නෝත් මහතාගේ ආශීර්වාදයෙන් ශ්‍රී ලංකාවේ පදිංචි වී ඇත.
ඉතා කඩවසම් ජවසම්පන්න තරුණයකු වූ තෝමස් ජේ. ලිප්ටන් මහතා තේ වගාව පිළිබඳ විවිධ පර්යේෂණවල නිරත වී ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වත්ත ලෙසින් ඉතිහාසගත වී ඇති හපුතලේ දඹේතැන්න තේ වත්ත ආරම්භ කර ශ්‍රී ලංකාවේ තේ ලොව අන් රටවල ප්‍රචලිත කිරීමට සුවිශේෂී මෙහෙයක් සිදුකළ අයකු බව පැවසේ.
හුදකලාව ප්‍රියකළ මොහු තම තේ වතුයා‍යේ ඇති ඉතා උස් ස්ථානයක සිට වාඩි වී මධුවිත තොලගාමින් අවට සිරි නරඹමින් විවේකීව ගතකිරීම පුරුද්දක් ලෙස සිදුකර ඇත. ඔහු එදා අවට සිරි නැරඹූ එම ස්ථානය අද 'ලිප්ටන් සීට්' යනුවෙන් ප්‍රචලිත වී ඇති අතර එම ස්ථානය දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉතා ආකර්ශනීය ස්ථානයක් බවට පත් වී ඇත.
හපුතලේ නගරයේ සිට කි. මී. 12 පමණ දුරින් දඹේතැන්න වතුයායේ නැ‍ඟෙනහිර දෙසට වන්නට පිහිටා ඇති මෙම ස්ථානයට දඹේතැන්න අලංකාර තේ කම්හල පසුකර මඳ දුරක් ගිය විට ළඟාවිය හැකිය.
මෙම ස්ථානයේ ඇති සුවිශේෂීභාවය නම් ශ්‍රී ලංකාවේ පළාත් 9න් පළාත් 5ක් වන එනම් ඌව, දකුණ, සබරගමුව, මධ්‍යම හා නැ‍ඟෙනහිර පළාත් නිරීක්ෂණය කළ හැකි වීමයි.
එදා තෝමස් ජේ. ලිප්ටන් මහතා විවේකී සුවයෙන් වාඩිවී සිටි අයුරින්ම ඔහුගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් එම ස්ථානයේ ඉදිකර ඇත. එමෙන්ම එය සමීපයේ දඹේතැන්න වතුයායේ ඉතිහාසය හා තෝමස් ජේ. ලිප්ටන් මහතා පිළිබඳ සඳහන් පුවරුවක් ඉදිකර ඇත. එමෙන්ම එම ස්ථානයට නුදුරින් අවට සිරි නැරඹීම සඳහා ඉතා අලංකාර පීඨිකාවක් ද ඉදිකර ඇත. දඹේතැන්න වතු පාලනාධිකාරිය විසින් මෙම ස්ථානය නඩත්තු කරමින් පවත්වාගෙන යන බව පෙනී යයි.

සවස් කාලයේදී දැඩි ලෙස මීදුම ගලා එන හෙයින් මධ්‍යහ්න 12ට පෙර ඉතා පහසුවෙන් අවට සිරි නැරඹිය හැකි වේ. විශේෂයෙන් අධික වැසි සහිත දිනවලට මෙම ස්ථානට 'අකුණු' පතිත වන හෙයින් අධික වැසි සහිත දිනවලදී මෙම ස්ථානය නැරඹීමට යාම එතරම් ප්‍රඥාගෝචර නොවේ. පසුගිය කාලයේ එසේ අකුණුසර වැදීමෙන් විදේශිකයින් කීපදෙනකුගේම දිවි අහිමි වී ඇත.

උපුටා ගැනීමකි 

No comments:

Post a Comment